මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීමට කිසිදු උවමනාවක් රජයට නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා කොළඹදී ඊයේ (නොවැ. 6) පැවසීය.
මුස්ලිම් විවාහ නීතිය හෝ කිසිදු ආගමික නීතියක් සංශෝධනය කිරීමට රජය තීන්දු කර නැතැයි ද එවැනි නීති ප්රතිසංස්කරණයක් සිදුවන්නේ නිසැකව ම. …ආගමික නායකයන් සමග වූ සංවාදයකින් පසුව යැයි ද ඇමතිවරයා අවධාරණය කළේ ය.
විජිත හේරත් ඇමතිවරයා මේ අදහස් දැක් වූයේ, නාරාහේන්පිට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එහිදී ඔහු මෙසේ ද කීය.
“විවිධ සංවිධාන මුස්ලිම් විවාහ නීති ගැන අදහස් දක්වා තිබුණා. ඒ අයිතියට අපි ගරු කරනවා. රජයක් විදිහට ඒ නීතිය වෙනස් කරන්න තීන්දුවක් අරගෙන නෑ. අරගන්නෙත් නෑ. අරගන්න වුවමනාවක් පැන නැගිලාත් නෑ. මුස්ලිම් විද්වතුන් සමග සාකච්ඡා කරලයි තීන්දු ගන්නේ. බෞද්ධ ආගම ගැන වුණත් එහෙමයි. බුද්ධශාසන ඇමතිවරයාත් මම. ආගමික නායකයන්ගෙන් අහලා තමයි පනත් වෙනස් කරන්නේ.
හජ් වන්දනාව සඳහා ඉදිරියේදී පුද්ගලයන් තෝරා ගැනීම සිදු කරනවා. දැනට තිබෙන හජ් කමිටුව හරහා ආයතන 88කින් 3,500ක පිරිසකට අවස්ථාව දෙනවා. ආයතන 88 තෝරා ගෙන තිබෙන්නේ ලකුණු ක්‍රමයකට අනුවයි. 3,500 කෝටා ක්‍රමයකට බෙදී යනවා. යමක්කමක් ඇති අයට මෙන් ම ආර්ථික අපහසුතා ඇති බස්නාහිර පළාතෙන් බැහැරව සිටින අයටත් අවස්ථාව දෙන්නැයි ඒ ආයතනවලින් අපි ඉල්ලීමක් කළා. ඒ කෝටාව සාධාරණව බෙදාවි යැයි අපි හිතනවා.“