මැතිවරණ ප්‍රචාරණ නිහඬ කාල සීමාව තුළදී මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙක් රංගනයෙන් දායක වන කිසිදු කලා නිර්මාණයක් ප්‍රසිද්ධ නොකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියි.
නිහඬ කාල සීමාව තුළදී මැතිවරණ ප්‍රචාරණ සියලු කටයුතු අවසන්ව ඇති හෙයින් ප්‍රවෘත්තියක් පමණක් නොව මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙක් සහභාගී වන ටෙලි නාට්‍යයක්, චිත්‍රපටයක් හෝ ප්‍රසිද්ධ කිරීමට හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (නොවැ. 12) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.
එම මාධ්‍ය හමුවේදී රත්නායක මහතා මෙසේ ද පැවැසීය.
“මැතිවරණ රාජකාරි සඳහා පත්වීම් ලබා ඇති සියලු නිලධාරීන් තමන්ට නියමිත ස්ථානයට අනිවාර්යයෙන් වාර්තා කළ යුතු වෙනවා. එලෙස රාජකාරියට සහභාගී නොවීම දඬුවම් ලැබිය හැකි වරදක්. එම පත්වීම් වෙනස් කිරීමට හෝ අවලංගු කිරීමට හැකියාවක් නැහැ.
මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති ඡන්දදායකයන් තවදුරට ත් තමාට ලියුම් බෙදන තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගන්න. මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියට පිවිසීමෙන් ද ඒවා භාගත කිරීම කරන්න පුළුවන්. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිව වුවද ඡන්දය දාන්න පුළුවන්. ඡන්දය දැමීම සඳහා එය අනිවාර්ය අවශ්‍යතාවක් නොවෙයි.
ජාතික හැඳුනුම්පත, පැරැණි හෝ නව හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය වලංගු රියැදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ පූජ්‍ය පූජක හැඳුනුම්පත එම දෙපාර්තමේන්තුව නිකුත් කරලා තියෙන හැඳුනුම්පත තහවුරු කිරීමේ ලිපිය, ආබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිෂන් සභා නිකුත් කරලා තියෙන තාවකාලික හැඳුනුම්පත යන හැඳුනුම්පත්වලින් එකක් ඡන්දය දීම සඳහා අනිවාර්යයෙන් රැගෙන ඒම අවශ්‍යයි.
ඡන්ද මධ්‍යස්ථානවල සහ ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ජංගම දුරකතන භාවිතය සම්පූර්ණයෙන් තහනම්. ඒ වගේ ම ඡායාරූප ගැනීම්, වීඩියෝ කිරීම්, අවි ආයුධ සන්තකයේ තබා ගැනීම්, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය පානය කර ගණන් කිරීම් හෝ ඡන්ද මධ්‍යස්ථානවලට ඇතුල්වීම සම්පූර්ණයෙන්ම තහනම්.
ඡන්ද විමසීම් දිනයේදී ඡන්ද මධ්‍යස්ථානයේ සිට මීටර් පන්සියයක දුර ප්‍රමාණයක් ඇතුළත ඡන්දය ආයාචනය කිරීම, යම් ඡන්ද හිමියකුගේ ඡන්ද ඉල්ලීම, නිශ්චිත දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ඡන්දය නොදෙන ලෙස යම් ඡන්ද හිමියෙක් දැනුවත් කිරීම, ඡන්ද පත්‍රිකාවක් අත්පත්‍රිකාවක්, ප්‍රදර්ශන පත්‍රයක්, දැන්වීම් කොළයක්, ඡායාරූපයක් පක්ෂයකට ස්වාධීන කණ්ඩායමකට වෙන්කර ඇති ලකුණක් ප්‍රදර්ශනය කිරීම තහනම්. එවැනි අවස්ථාවක් උදාවුවහොත් ආරක්ෂක අංශ අවශ්‍ය කටයුතු සිදු කරනවා.
සියලු ම ඡන්ද මධ්‍යස්ථානවල ඒ ඒ දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම්වලින් බලය පවරපු නියෝජිතයන් දෙදෙනෙකුට ඉන්න පුළුවන්. ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු ඡන්ද පෙට්ටිය මුද්‍රා තැබීමෙන් පසු එය පොලිතින් කවරය බහ නැවත වතාවක් මුද්‍රාව තබනවා. ඡන්ද පෙට්ටි පිළිබඳ කිසි ම කෙනෙකුට සැකයක් ඇති කරගත යුතු නැහැ. අවශ්‍ය නම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් ලබාගත් අවසරයක් මත දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් නියෝජිතයන් කිහිප දෙනකුට ඡන්ද පෙට්ටි ගෙනියන වාහනය පිටුපස වාහනයකින් යන්න අවස්ථාව සලසා දී තිබෙනවා.
සෑම ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ම එක් එක් පිළිගත් පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායම් නියෝජිතයන් පස් දෙනෙකුටත් තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක නියෝජිතයන් දෙදෙනෙකුටත් රැඳී සිටින්න පුළුවන්. ඕනෑ ම නියෝජිතයෙකුට පැමිණිල්ලක් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් එහිදී ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරියාගෙන් අහන්න.
11වන දා මධ්‍යම රාත්‍රියේ සිට ඡන්ද විමසීම දක්වා නිහඬ කාලය තුළ කිසිදු ප්රචාරක රැස්වීමක්, ප්රචාරක කටයුත්තක් සිදු කිරීම සම්පූර්ණයෙන් තහනම්.
කිසිදු මාධ්‍යයක අපේක්ෂකයෙක් අගතියට පත්වන හෝ ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිවක් ප්‍රකාශ කිරීමට හෝ ප්‍රසිද්ධ කිරීමට හැකියාවක් නැහැ.
ඡන්දයට ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙක් සහභාගී වන ටෙලි නාට්‍යයක් ප්‍රසිද්ධ කරන්න, විකාශනය කරන්න හැකියාවක් නැහැ. මේ ඉතා කෙටි කාලය තුළ ඉතා ම සංයමයෙන් කටයුතු කර මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.
දැනට ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සියලු ම ඡන්ද කාර්යාල ඉවත් කරගත යුතු වෙනවා. අපේක්ෂකයන් ඒවා ඉවත් කරගන්නේ නැත්නම් පොලිසිය ඒවා ඉවත් කරනවා.”
ප්‍රතිඵල නිකුත් කිරීම සහ ගණන් කිරීම පිළිබඳ අදහස් දැක්වූ රත්නායක මහතා මෙසේ ද පැවසීය.
“14 දින තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 4.15ට ආරම්භ කරනවා. සාමාන්‍ය ඡන්ද ගණන් කිරීම ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවලින් ඡන්ද පෙට්ටි ලැබුණු පසුව නිලධාරීන් සම්පූර්ණ වූ විට පස්වරු 7:15ට පමණ ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා. ගණන් කිරීමේ අවසානයේදී අදාළ ප්‍රතිඵල ලැබුණු විගස ඒවා මාධ්‍යයට ලබා දීමට අවශ්‍ය විධිවිධාන යොදා තියෙන්නෙ. නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස සියලු ම මාධ්‍ය ආයතනවලින් ඉල්ලනවා.
- රවිශාන් ප්‍රනාන්දු