සිර මැදිරිය තුළ බූරු ගැස්වූ බවට චෝදනා: ගිරානේගම OIC ඇතුළු නිලධාරීන් තිදෙනෙකුට ඇප

මුදලට සූදු කෙළියක නිරතව සිටි බව කියන පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගෙන සිර කර තබා ගැනීම සහ අයුතු අවහිරය යන චෝදනාව යටතේ ගල්කිරියාගම ගිරානේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එච්.ප්‍රභාත් හේමචන්ද්‍ර, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (නොවැ. 11) පෙරවරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රධාන මහේස්ත්‍රාත් උදාරි ගුණසේකර විසින් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලදී.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ ගිරානේගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස සේවයෙහි නියුතුව සිටි මාතර වල්ගම සුගන්ධ මාවතේ පදිංචි ‍ෙදාඩම්පහළ හේවගේ ප්‍රභාත් ප්‍රේමචන්ද්‍ර, රාත්‍රි කාර්ය භාර පොලිස් සැරයන් ආඩියාගම ජන උදාන ගම්මානයේ පදිංචි විල්බට් පෙරේරාගේ සමින්ද ගිම්හාන් සහ රාත්‍රී උප සේවක කැකිරාව මහ ඇලගමුවේ පදිංචි පොලිස් කොස්තාපල් ඉහළ වෙලේගෙදර නිශාන්ත ලක්මාල් විජය බණ්ඩාර නමැති අයයි.

ඉකුත් ජූලි මස 19 වන දා රාත්‍රී ගිරානේගම ප්‍රදේශයේ අවමංගල්‍යයක් පැවති නිවසක් අසල රාත්‍රී කාලයේ මුදලට සූදු ක්‍රීඩාවේ (බූරුවා ගසමින් සිටි) නිරතව සිටි පුද්ගලයන් දස දෙනෙකුට ආසන්න පිරිසක් ගිරානේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත කැඳවා ගෙන ගොස් එම සැකකරුවන් පොලිස් සිර මැදිරිය තුළ රඳවා බූරුවා ගැසීමට සැලැස්වූ බවට ලද පැමිණිල්ලක් මත පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ අනුව, සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු සෙසු පොලිස් නිලධාරීන් තිදෙනා පෙරේදා (නොවැ. 11) පෙරවරුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අනුරාධපුර පොලිස් කොට්ඨාස දූෂණ මර්දන අංශය වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අනුව, අත්අඩංගුවට ගත් පිරිස අතර ඉකුත් ජූලි මස 19 වන දා රාත්‍රී ගිරානේගම පොලිස් ස්ථානයේ කාර්යභාර නිලධාරියා ලෙස සේවයෙහි නියුතුව සිටි පොලිස් සැරයන්වරයා සහ උප සේවා රාජකාරියෙහි නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරයා ද වෙති.

අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශය මඟින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.

  • පර්සි කුරුනේරු- අනුරාධපුර, උපාලි ආනන්ද

Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Recent News

Editor's Picks

Copyright © 2024 Ceylon Newspapers (Pvt) Ltd. About Us | Contact Us | Privacy Policy ​​