මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අත්හිටුවීමේ තීරණය ගැන නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

රජයට ගෙවිය යුතු හිඟ බදු මුදල් නොවැම්බර් 30 වන දාට පෙර ගෙවීමට අපොහොසත් වුවහොත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම ඇතුළු මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටුවීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව නීතිපතිවරයා අද (නොවැ. 13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මේ බව සඳහන් කළේ ය.

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම ඇතුළු සමාගම් පහක් විසින් ගෙවිය යුතු හිඟ බදු මුදල් අය කරගන්නා ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ත් එසේ බදු ගෙවීම පැහැර හරිනු ලබන සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ත් ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ බව සඳහන් කළේ ය.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම, රෝයල් ඩිස්ටිලරිස් ඇතුළු මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක් ගෙවිය යුතු හිඟ බදු මුදල් මේ මස 30 වන දාට පෙර ගෙවීමට පියවර ගන්නා ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇති බව ත් එම හිඟ බදු මුදල් ගෙවීමට අපොහොසත් වුවොත් ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව ත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේ ය.

අනතුරුව මෙම පෙත්සම ලබන ජනවාරි 22 වන දා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස පැවසීය.

සමාජ ක්‍රියාකාරියෙකු වන සංජය මහවත්ත ඇතුළු පිරිසක් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ, මෙම සමාගම් පහ විසින් ගෙවීම පැහැර හැර ඇති බදු මුදල්වල වටිනාකම රුපියල් බිලියන හයකට ආසන්න බව ද සඳහන් කර තිබේ.

වග උත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් දිගින් දිගට ම ගෙවීම පැහැර හැරීම නිසා ජාතික ආර්ථිකයට විශාල අගතියක් සිදු වී ඇති අතර ඒ අනුව අදාළ බදු මුදල් අය කරගන්නා ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ත් එසේ බදු ගෙවීම පැහැර හරිනු ලබන සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන බව ත් එම පෙත්සමෙන් වැඩිදුරට ත් ඉල්ලා තිබිණි.

හංසි නානායක්කාර

Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Recent News

Editor's Picks

Copyright © 2024 Ceylon Newspapers (Pvt) Ltd. About Us | Contact Us | Privacy Policy ​​