මහ මැතිවරණ නීති කඩ කිරීම් යටතේ මේ වන විට අපේක්ෂකයන් 8 දෙනෙකු හා ආධාරකරුවන් 273 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා ඊයේ (නොවැ. 6) පැවසීය.
නීති විරෝධී පෝස්ටර් ඉවත් කිරීම සඳහා පොලිසි 602ක් ආවරණය වන සේ කම්කරුවන් 1,500ක් යොදා ඇතැයි ද තල්දුව මහතා කීය.
එහිදී නීති විරෝධී පෝස්ටර් නව ලක්ෂයක් විනාශ කර පෝස්ටර් ලක්ෂ 4ක් පොලිස් භාරයට ගෙන ඇතැයි ද ඔහු පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා මෙම අදහස් පළ කළේ, කැබිනට් තීන්දු දැනුම් දෙන මාධ්‍ය හමුව නාරාහේන්පිට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (නොවැ. 6) පැවති අවස්ථාවේය.
“මැතිවරණයක් පැවැත්වෙන්නේ පවතින 1980 මහමැතිවරණ නීතිය අනුවයි. එහි තිබෙන වැරැදි සම්බන්ධයෙන් තමයි පොලිසිය ක්‍රියා කරන්නේ. ඊට අමතරව මැතිවරණ කොමිසම විටින් විට නිකුත් කරන නියම අනුවයි. ජනාධිපතිවරණ හා මහ මැතිවරණ ප්‍රචාරණ නීතිවල ලොකු වෙනසක් නෑ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) සෑම කොට්ඨාසයකට ම ගොස් නිලධාරීන් දැනුවත් කර තිබෙනවා. මට විශ්වාසයෙන් කිව හැකියි නීතිය හොඳින් ක්‍රියාත්මක වෙනවා. යම් තැන්වල අඩුපාඩු විය හැකියි. එවැනි අඩුපාඩුවක් වුණොත් අදාළ නිලධාරියා හා අධීක්ෂක නිලධාරියා වගකීම ගත යුතුයි.
මහනුවරදී පොලිසිය ක්‍රියා කළ ආකාරය ගැන පැමිණිල්ලක් ආවා. ඒ ගැන විශේෂ විමර්ශන ඒකකයෙන් පරීක්ෂණයක් ආරම්භ කළා.
මැතිවරණය ගැන ප්‍රචාරණය කියන දේ මැතිවරණ නීතියෙන් පාලනය කර තිබෙනවා. නමුත් ව්‍යතිරේක තිබෙනවා. මැතිවරණ රැස්වීමක් තිබෙන තැනක පෝස්ටර් ප්‍රදර්ශනය කළ හැකියි. මැතිවරණ රැස්වීමක් පැවැත්වෙන බව දැන්වීමට පෝස්ටරයක් ඇලවීමේ හැකියාව තිබෙනවා. අපේක්ෂකයාගේ අංකය සඳහන් කර පෝස්ටරයක් අලවන්න බෑ. රැස්වීමක පෝස්ටරයක වුණත් ඡායාරූප හෝ අංක සඳහන් කරන්න බෑ. සඳහන් කළ හැක්කේ අදාළ පක්ෂය, දිනය හා වේලාවයි.”