“ට්‍රම්ප්ගේ දිනුමෙන් ලංකාවට වන බලපෑම අඩු විය හැකියි”

ලංකාවේ දේශපාලනයට සිදුවන අමෙරිකානු බලපෑම රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ඉදිරියේදී සැලකිය යුතු ලෙස අඩුවනු ඇතැයි ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය (අයිරෙස්) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා ‘මව්බිම’ට පැවසීය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයේ ජය තහවුරු කර ගැනීම ලංකාවේ ලොකු කුඩා සෑම කරුණක් කෙරෙහි ම අමෙරිකාවේ සෘජු බලපෑම්සහගත ස්වභාවය අඩු විය හැකි යැයි ගජනායක මහතා පැවසීය.

ලංකාවේ සාමකාමී මැතිවරණයක් තිබියදී ද සංචාරකයන්ට අනතුරු ඇඟවීමේ නිවේදන පසුගිය කාලයේ නිකුත් කර තිබීම වැනි ඉතා කුඩා කුඩා කරුණු කෙරෙහි අමෙරිකා අත දැමීම් නතර වනු ඇතැයි ඔහු කීවේ ය.

මේ අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය යටතේ අමෙරිකාව ජාත්‍යන්තර බැඳීම්, ආරක්ෂක මෙවලම්, උපකරණ පිරිවැය කප්පාදු කිරීම් තුළ ශ්‍රී ලංකාව කෙරෙහි තිබෙන අමෙරිකා බැල්ම පෙර තරම් නොවන්නේ යැයි ගජනායක මහතා අවධාරණය කළේ ය.

ඒ අනුව, ශ්‍රී ලංකාව වැනි රටවල ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සඳහා මේ වන විටත් ලබා දී ඇති ආධාර ප්‍රමාණ එලෙස ම පවතීවි කියා සිතීමට නොහැකි යැයි හෙතෙම ප්‍රකාශ කළේ ය.

ට්‍රම්ප් ප්‍රතිපත්ති තුළ නීති විරෝධී සංක්‍රමණ සහ අමෙරිකාවට යෑම සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක වීම තුළ අමෙරිකාවේ සරණාගතභාවයේ සිටින පිරිස් වෙත නරක කළ දසාවක් උදාවේ යැයි ද ඔහු කීවේ ය.

අධ්‍යාපන, රැකියා සඳහා අමෙරිකා, කැනඩාව ඔස්ට්‍රේලියාව වැනි රටවල් තෝරා ගත් පිරිස් අමෙරිකාවට යන ගමනට දැඩි නීතිමය බලපෑම් විය හැකි යැයි අයිරෙස් විධායක අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ ය.

අමෙරිකාව පොදුවේ චීනයට සහ වෙනත් රටවලට එරෙහිව ආනයන වෙළෙඳ මිල වැඩි කිරීමට ගියහොත් මෙරට ඇගලුම් කර්මාන්තයට ද නරක බලපෑමක් සිදුවිය හැකි යැයි ගජනායක මහතා කීවේය.

ට්‍රම්ප් පාලනයේදී අමෙරිකාව විශේෂයෙන් මෙරට කෙරෙහි අවධානය යොමු නොකළ ද ඉන්දියාව හරහා වෙනදාටත් වඩා වැඩි වගකීමක් ක්‍රියාත්මක වනු ඇතැයි ඔහු කීවේය.

ඒ අනුව, මේ වන විට ඇමරිකාව ශ්‍රී ලංකාවට අත පොවන ලද ආකාරයට ම ඉන්දියාව කටයුතු කරනු ඇතැයි ගජනායක මහතා කීවේය.

බලවත් ඕනෑ ම රාජ්‍යයක අභිනවයෙන් පාලකයෙක් පත්වීම ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් බලපෑම්සහගත වන්නේ යැයි ගජනායක මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

  • රවිශාන් ප්‍රනාන්දු

Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Recent News

Editor's Picks

Copyright © 2024 Ceylon Newspapers (Pvt) Ltd. About Us | Contact Us | Privacy Policy ​​